සොඳුරු අඩවියක් වු බුලත්කොහුපිටිය
සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල නගරයට නිරිත දිශාවෙන් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පිහිටා ඇත.උතුරු දිශාවෙන් ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන්ද නැගෙනහිර දිශාවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරලයේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන්ද දකුණු දිශාවෙන් යටියන්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන්ද බටහිර දිශාවෙන් රුවන්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන්ද සීමා වී ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය සභාව බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව වන අතර බල ප්‍රදේශයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 124.205 කි. 51425ක් වන ජනගහනය බහු වාර්ගික හා බහු ආගමික සංස්කෘතීන්ගේ විවිධත්වයන් උරුම කරගෙන සිටී.සිංහල ජනගහනය 42525ක් වන අතර දමිළ ජනගහනය 8645ක් වේ.මෙම විවිධත්වය නිසාම බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය අතිශය විචිත්‍රවත් සංස්කෘතික සහයෝගීතාවයකට උරුමකම් කියයි.
කොට්ඨාශයේ ආර්ථිකය ප්‍රධාන වශයෙන් වැවිලි කෘෂිකර්මාන්තය මත රඳා පවතී.තේ සහ රබර් ප්‍රධානතම ආර්ථික ශක්තිය වන අතර ජනතාව තම ජීවනෝපායයන් ඒ මත රඳවා ගෙන සීටී. ඊට අමතරව වෙනත් සුළු අපනයන බෝගයන් ප්‍රමුඛ කෘෂිකර්මාන්තය සහ කුඩා පරිමාණ වී ගොවිතැනද සිදුවේ.යැපුම් කෘෂිකාර්මික කටයුතු ඉක්මවා වෙනත් ආර්ථික බෝග වගාව සහ කුඩා කර්මාන්ත, ස්වයං රැකියා කරා යොමුවීම ප්‍රදේශයේ පවත්නා නව්‍ය ආර්ථික ප්‍රවනාතාවයක් ලෙස හඳුනාගත හැකය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතා සුවිශේෂී වූ පාරිසරික හා දේශගුණික විවිධත්වයකට මෙම ප්‍රදේශය හිමිකම් කියනු ලබයි.මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 ක් පමණ වන අතර මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි ලීටර් 4000 - 5000 ත් අතර වේ.
රිටිගහ ඔය මෙම ප්‍රදේශයෙහි ප්‍රධානතම ජල මූලාශ්‍රය වන අතර,මෙම දියවරින් විශාල ජනතාවකගේ සා පිපාසාව මෙන්ම,කෘෂිකාර්මික බිම්ද සරුසාර කරයි.ඒ මතු නොව රිටි ගහඔය ජාතික විදුලි බල පද්ධතියටද කුඩා පරිමාණ ජල විදුලි බලාගාර පහක් ඔස්සේ ශක්තිය ලබා දේ.මෙම ප්‍රදේශයේ පාරිසරික සමතුළිත භාවයට මහත් මෙහෙවරක් කර කැළණි ගං තෙර දී බුලත්කොහුපිටියෙන් සමුගන්නා රිටිගහ ඔය ඊට පෙර ආකර්ශනීය නෙත් සිත් පිනවන අතිශය චමත්කාර ජනක දියඇලි 06ක් තිළිණ කරයි.
මුහුදු මට්ටමේ සිට ඉතා උස් කඳු මුදුන් මෙහි පිහිටා ඇති අතර පැලැම්පිටිය ප්‍රදේශය ඒ අතර සුවිශේෂී වේ.මධ්‍ය කඳුකරයේ ආරම්භක කඳු පන්ති මෙහි පිහිටා ඇති අතර,ඒ නිසා වෙන්ව විශේෂිත දේශගුණික හා ජෛවීය විවිධත්වයක උරුමය බුලත්කොහුපිටියට හිමි වී ඇත. නිරන්තරව මීදුමෙන් වැසී ගත් කඳු මුදන් සහ නිම්නයන් පාරිසරික සංචරණයෙහි නව ගමනාන්තයක් වේ.නුවරඑළිය දිස්ත්‍රික්කයට මායිම් වන මෙම කලාපයට එහි දේශගුණය ඉතා පහසුවෙන් අත්විදීමේ හැකියාව ඇත.
සොඳුරු අඩවියකට හිමිකම් කියන බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය දේශීය සංචාරකයින්ගේ ඇසිදිසි පාරාදීසයක් බවට පත් වී ඇත.ප්‍රදේශයේ පවත්නා වූ ස්වභාව සෞන්දර්ය සංචාරකයින්ගේ නොමඳ ආශ්වාදයට පාදක කරගනිමින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමෙහිලා විශේෂයෙන්ම දියඇලි ආශ්‍රිතව ගොඩනගාගත් කේන්ද්‍රස්ථානයන් මහානර්ඝය.
භූගෝලීය පිහිටීම.
ප්‍රදේශයේ බොහෝමයක් ප්‍රදේශ කදුකර ලක්ෂණ පෙන්නුම් කරයි. ඊශාන දිශාවේ සිට නැගෙනහිර දෙසට විශාල කඳුවැටි ලක්ෂණ දැකිය හැකි අතර අනෙකුත් ප්‍රදේශවල තැනින් තැන කඳුගැට සහිත උස් බිම් දැකිය හැකිය.උපරිම උස පැලැම්පිටිය වන අතර එය අඩි 4000ක් පමණ වේ.අවම උස පූනහැල ප්‍රදේශය වන අතර එය අඩි 146ක් පමණ වේ.ඊට අමතරව ප්‍රදේශයේ සාමාන්‍යය වශයෙන් බෑවුම් ලක්ෂණ දැකිය හැකිය.
ජල සම්පත.
මෙම ප්‍රදේශයෙන් 4/3ක් පමණ වන ගහනයෙන් යුක්ත වන බැවින් ප්‍රදේශය ජල සම්පතින් ස්වයංපෝෂිත වේ. ප්‍රදේශයේ වැඩි කොටසක් භූගත ජලයත් ඇල ,දොල, ගංඟා, දිය ඇලි හා ජල උල්පත්වලින් සමන්විත වේ. මෙම ප්‍රදේශය හරහා ගලා බසින රිටි ගහ ඔය, වෑ ඔය ප්‍රධාන ජල සම්පත් වේ.මෙම ඔයවල් දෙකම ප්‍රදේශයේ විසිරී ඇති ඇල, දොල, දිය ඇලි හා ජල උල්පත් සමඟ සම්බන්ධ වී අවසන් වශයෙන් රිටිගහ ඔය හා වෑ ඔය කැළණි ගඟටත් අනෙක් ඇලවල් ගුරුගොඩ ඔයටත් සම්බන්ධ වී මුහුදට ගලා බසී.
ඓතිහාසික වැදගත්කමත් ඇති ස්ථාන.
අලවතුර ගනේගොඩ විහාරය මෙම ප්‍රදේශයේ ඉපැරණිම පුරා විද්‍යාත්මක භූමියයි.ශෛලමය ඉදිකිරීමක් වන මෙම විහාරය දැනට සැලකිය යුතු තත්ත්වයකින් සංරක්ෂණය වී ඇත.ගලින් කරණ ලද පිළිමය සහ මහනුවර යුගයට නෑකම් කියන චිත්‍ර කිහිපයක් අදටත් මෙහි දැකගත හැක. රංගල්ල විහාරය සහ ඉහළ උඩුව පුරාණ විහාරස්ථානය ද ඓතිහාසික වශයෙන් වැදගත්කමක් හිමිකර ගන්නා ස්ථාන දෙකකි. මහනුවර යුගය දක්වා දිවෙන මෙම විහාරයන්හි ඉතිහාසය කෙනෙකුගේ අවධානය යොමු කරවා ගනී. පූනහැල පහන තිබ්බ ගල, පත්තිනි දේවාලය, මහරංගල්ල ශෛලබිම්බාරාම පුරාණ විහාරය සහ පූනහැල ශ්‍රී සුගත විශුද්ධාරාමය වලගම්බා රජ සමයේ ඉදිකරන ලදැයි සැලකෙන ඓතිහාසික ස්ථානවලට සාක්ෂි දරයි.